Back to Blogs Insight Article

සමාජ මාධ්‍ය අවකාශය සහ වචනයක බලය: වෛරී ප්‍රකාශ තුළ සැඟවුණු අනන්‍යතා අරගලය

අද සමාජය වෙන කවරදාටත් වඩා සන්නිවේදනයෙන් සවිබල ගැන්වී ඇති අතර, අපගේ දෛනික ජීවිතය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ වූ නොනවතින සන්නිවේදන ප්‍රවාහයක දිගුවක් බවට පත්ව තිබේ. වට්සැප්, ෆේස්බුක්, යූ...

Admin User Online Safety Apr 17, 2026

සමාජ මාධ්‍ය අවකාශය සහ වචනයක බලය: වෛරී ප්‍රකාශ තුළ සැඟවුණු අනන්‍යතා අරගලය

අද සමාජය වෙන කවරදාටත් වඩා සන්නිවේදනයෙන් සවිබල ගැන්වී ඇති අතර, අපගේ දෛනික ජීවිතය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ වූ නොනවතින සන්නිවේදන ප්‍රවාහයක දිගුවක් බවට පත්ව තිබේ. වට්සැප්, ෆේස්බුක්, යූ...

අද සමාජය වෙන කවරදාටත් වඩා සන්නිවේදනයෙන් සවිබල ගැන්වී ඇති අතර, අපගේ දෛනික ජීවිතය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ වූ නොනවතින සන්නිවේදන ප්‍රවාහයක දිගුවක් බවට පත්ව තිබේ. වට්සැප්, ෆේස්බුක්, යූටියුබ් සහ එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුවන ගනුදෙනු මෙන්ම, අපගේ එදිනෙදා සාමාන්‍ය කතාබහ පවා අද වන විට අපගේ ජීවන රටාව සහ ආකල්ප හැඩගැස්වීමේ ප්‍රධාන සාධක බවට පත්ව ඇත. කෙසේ වෙතත්, මෙම සන්නිවේදන ප්‍රවාහය තුළ නිරන්තරයෙන්ම දැකගත හැකි බරපතල ගැටලුවක් වන්නේ වෛරී ප්‍රකාශ (Hate Speech) ව්‍යාප්ත වීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, "වෛරී ප්‍රකාශ" (Hate Speech) යනු සමාජ සාමයට තර්ජනයක් විය හැකි, යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක අනන්‍යතාවය (ජාතිය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය වැනි ලක්ෂණ) පදනම් කරගනිමින් සිදුකරන අපහාසාත්මක හෝ ද්වේෂසහගත කතිකාවකි.

මෙම ගෝලීය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් 'වෛරී ප්‍රකාශ පිළිබඳ උපායමාර්ගික සහ ක්‍රියාකාරී සැලැස්ම' මගින් එය තවදුරටත් මෙසේ අර්ථ දක්වයි:

"කථනය, ලිවීම හෝ හැසිරීම හරහා පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ආගම, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය, වර්ණය, සම්භවය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෙනත් අනන්‍යතා සාධකයක් ඉලක්ක කරගනිමින් සිදුකරන, වෙනස් කොට සැලකීම හෝ අපහාස කිරීම අරමුණු කරගත් ඕනෑම ආකාරයක සන්නිවේදනයක් වෛරී ප්‍රකාශ ගණයට වැටේ."

කෙසේ වෙතත්, අද දක්වා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ වෛරී ප්‍රකාශ පිළිබඳව විශ්වීය වශයෙන් එකඟ වූ තනි නිර්වචනයක් (Universal Definition) නොමැත. විශේෂයෙන්ම පුද්ගල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වෙනස් කොට සැලකීම වැළැක්වීම යන කරුණු අතර පවතින සියුම් සීමාවන් හේතුවෙන් මෙම සංකල්පය පිළිබඳ විද්වත් සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතී. එමෙන්ම සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, වෛරී ප්‍රකාශ යනු හුදෙක් තනි වචන කිහිපයකට හෝ වාක්‍ය ඛණ්ඩයකට පමණක් සීමා වූවක් නොවේ. එය සමාජය තුළ පවතින බල ව්‍යුහය, අයිතිවාසිකම් පිළිබඳ ගැටුම්, පරම්පරාගතව පැවත එන මතවාද සහ අපගේ දෛනික සන්නිවේදන රටාවන් තුළම මුල් බැසගත් සංකීර්ණ සංස්කෘතික ක්‍රියාවලියකි.

මෙම සංදර්භය තුළ අන්තර්ඡේදනය (Intersectionality) යන සංකල්පය අතිශය තීරණාත්මක වේ. මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය එක් සාධකයකින් පමණක් නිර්වචනය නොවන බවත්, විවිධ සමාජ සාධක එකිනෙක හමුවන ලක්ෂ්‍යයන් මත එය ගොඩනැගෙන බවත්ය. උදාහරණයක් ලෙස; යම් තැනැත්තියක කාන්තාවක් වීම, දෙමළ ජනවාර්ගිකත්වයට අයත් වීම, ආර්ථිකමය වශයෙන් පීඩිත පසුබිමකින් පැමිණීම හෝ ආගමික සුළුතරයකට අයත් වීම යන මේ සියලු සාධක එකිනෙක හා බද්ධ වෙමින් ඇයගේ සමාජ අත්දැකීමත්, ඇය මුහුණ දෙන අභියෝගත් හැඩගස්වයි.

දෛනික ජීවිතයේ භාෂාව සහ බලය

දෛනික ජීවිතයේදී අප භාවිතා කරන භාෂාව යනු හුදෙක් අදහස් හුවමාරු කරගන්නා මෙවලමක් පමණක් නොවේ; එය බලය (Power) ක්‍රියාත්මක වන, ප්‍රදර්ශනය වන සහ තහවුරු කෙරෙන ප්‍රධානතම මාධ්‍යයකි. සමාජ විද්‍යාත්මකව බලන කල, භාෂාව සහ බලය අතර පවතින්නේ අවිච්ඡින්න සබඳතාවයකි.

මෙම සබඳතාවය අපගේ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැකිය:

1. භාෂාව හරහා ගොඩනැගෙන සමාජ ධූරාවලිය

අප කතා කරන ආකාරය, භාවිතා කරන වචන සහ ස්වරය අනුව සමාජයේ අපට හිමි ස්ථානය හෝ අප අනෙකා දෙස බලන ආකාරය තීරණය වේ.

  • ගෞරවවාචී පද: සිංහල භාෂාව වැනි භාෂාවල "ඔයා", "ඔබ", "උන්නැහේ", "තමුසේ" වැනි වචන භාවිතයෙන් පුද්ගලයන් අතර පවතින බල පරතරය ක්ෂණිකව නිරූපණය වේ.
  • නිල සහ නොනිල භාෂාව: රැකියා ස්ථානයකදී හෝ රාජ්‍ය ආයතනයකදී භාවිතා කරන භාෂාව හරහා ආයතනික බලය තහවුරු කෙරේ.

2. දැනුම සහ බලය

යම් විෂයක් පිළිබඳව පවතින තාක්ෂණික හෝ ශාස්ත්‍රීය භාෂාව හැසිරවීමට ඇති හැකියාව බලයකි.

  • නීතිඥයන්, වෛද්‍යවරුන් හෝ තාක්ෂණික ශිල්පීන් භාවිතා කරන "විශේෂිත භාෂාව" (Jargon) සාමාන්‍ය ජනතාවගෙන් ඔවුන්ව වෙන් කර තබන අතර, එම දැනුම හරහා ඔවුන් සමාජය තුළ බලයක් හිමිකර ගනී.


3. බැහැර කිරීමේ සහ අන්තර්කරණයේ බලය

යම් පිරිසක් සමාජයෙන් කොන් කිරීමට හෝ වැළඳ ගැනීමට භාෂාවට හැකියාව තිබේ. සාමාන්‍ය කතාබහකදී අපි භාවිතා කරන විහිළු, නාමපද, හෝ පදවි කෙනෙකුට විහිළුවක් ලෙස පෙනුනත්, වෙනත් කණ්ඩායමක් සඳහා එය පහත් කිරීමක් විය හැක.

ශ්‍රී ලංකාවේ දෛනික ජීවිතය තුළ මෙවැනි උදාහරණ බහුලය.

  • ජාතිකත්වය පදනම් කරගෙන කරන අපහාස
  • කාන්තාවන් පිළිබඳ ඒකාකෘති අදහස්
  • ආගමික කණ්ඩායම් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ
  • පංති සහ භාෂා පදනම්ව කරන අපහාස

මෙවැනි භාෂාව සමාජයේ පවතින බල සම්බන්ධතා නවීන ආකාරයකින් නැවත නිර්මාණය කරයි. "හරි" හෝ "නිවැරදි" භාෂාව ලෙස සම්මත වූ උච්චාරණය හෝ ව්‍යාකරණ රටාවන් නොමැති පුද්ගලයන් සමාජය තුළ පහත් කොට සැලකීමට ලක්වීම භාෂාමය බලය අවභාවිත කිරීමකි. එමෙන්ම භාෂාව තුළ පවතින පුරුෂ මූලික වචන හෝ ස්ත්‍රී විරෝධී ප්‍රකාශ හරහා සමාජයේ පවතින පීතෘමූලික බල ව්‍යුහය දෛනිකව පෝෂණය වේ. බොහෝ විට අප නොදැනුවත්වම භාවිතා කරන ඇතැම් උපදේශ හෝ ප්‍රස්ථාව පිරුළු තුළින් ස්ත්‍රිය දෙවැනි පෙළ පුරවැසියෙකු ලෙස තැබීමේ "භාෂාමය බලය" ක්‍රියාත්මක වේ.

අන්තර්ඡේදනය (Intersectionality) මෙහිදී ක්‍රියා කරන්නේ කෙසේද?

වෛරී ප්‍රකාශ කතිකාව තුළ අන්තර්ඡේදනය යන සංකල්පය මගින් අපට පසක් කර දෙන්නේ, වෛරී ප්‍රකාශ යනු හුදෙක් 'යම් එක් කණ්ඩායමකට එරෙහි වෛරය' පමණක් නොවන බවයි. ඒ වෙනුවට, එය විවිධ අනන්‍යතා සාධක එකිනෙක මුණගැසෙන ලක්ෂ්‍යයන් ඉලක්ක කරගනිමින් සිදුවන්නකි. උදාහරණයක් ලෙස, සමාජ මාධ්‍ය අවකාශය තුළ කාන්තාවක විවේචනයට ලක්වන විට, එය බොහෝ විට ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, බාහිර පෙනුම සහ වෘත්තිය යන මේ සියලු සාධක එකිනෙක හා බද්ධ වූ ප්‍රහාරයක් ලෙස එල්ල වේ. මෙම අනන්‍යතාවන්ගේ සංකලනයෙන් ජනිත වන අපහාසය සාමාන්‍ය විවේචනයකට එහා ගිය ප්‍රබල සමාජ බලයක් අත්පත් කර ගනී. එහි මූලික අරමුණ වන්නේ පුද්ගලයෙකු සමාජ ධූරාවලිය තුළ පහතට ඇද දැමීම, ආත්මගරුත්වය බිඳ දැමීම හෝ අවසානයේ ඔවුන්ව පොදු සංවාද මණ්ඩපයෙන් සහමුලින්ම බැහැර කිරීමයි.

ඩිජිටල් අවකාශයේ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වීමට බලපාන සාධක

සමාජ මාධ්‍ය ජාලවල ව්‍යුහය සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුව, වෛරී ප්‍රකාශ සාමාන්‍ය තොරතුරුවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පහත සාධක බලපානු ලබයි:

  1. අනාමිකත්වය (Anonymity): පරිශීලකයින්ට තම සැබෑ අනන්‍යතාවය වසන් කරමින් ව්‍යාජ ගිණුම් හරහා පෙනී සිටීමට ඇති හැකියාව නිසා, සැබෑ ජීවිතයේදී ප්‍රකාශ කිරීමට බිය වන ද්වේෂසහගත අදහස් කිසිදු වගකීමකින් තොරව මුදා හැරීමට ඔවුන් පෙළඹේ. මෙහිදී නීතියෙන් හෝ සමාජයෙන් එල්ල විය හැකි බලපෑම අවම වීම නිසා වෛරී ප්‍රකාශ කරන්නන් වඩාත් දිරිමත් වේ.
  2. ඇල්ගොරිතම (Algorithms): සමාජ මාධ්‍ය වේදිකාවන් සැලසුම් කර ඇත්තේ පරිශීලකයින් වැඩිපුර ප්‍රතිචාර දක්වන (Engagement) අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමටයි. බොහෝ විට විවාදාත්මක, කෝපය අවුස්සන සහ ආන්දෝලනාත්මක තොරතුරුවලට වැඩි ප්‍රතිචාර ලැබෙන බැවින්, ඇල්ගොරිතම මගින් එවැනි වෛරී අන්තර්ගතයන් වැඩි පිරිසක් වෙත ස්වයංක්‍රීයව රැගෙන යනු ලබයි.
  3. ප්‍රතිරාව කුටි (Echo Chambers): සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ විට තමන් කැමති හෝ තම අදහස්වලට සමාන අදහස් දරන පිරිස් සමඟ පමණක් ගනුදෙනු කිරීමට පෙළඹේ. මෙම "ප්‍රතිරාව කුටි" (Echo Chambers) තුළ එකම ද්වේෂසහගත අදහස් නැවත නැවතත් තහවුරු වන අතර, එමඟින් වෙනත් මත දරන කණ්ඩායම් පිළිබඳ වෛරය සහ අගතීන් තවදුරටත් ශක්තිමත් වේ.

මෙම සාධකවල සාමූහික බලපෑම නිසා, අන්තර්ජාලය තුළ වෛරී ප්‍රකාශ යනු සුවිශේෂී සිදුවීමක් නොව "සාමාන්‍යකරණය වූ" (Normalized) සංවාද රටාවක් බවට පත්වීමේ අවදානමක් පවතී. මෙය සමාජය තුළ පවතින සහජීවනය බිඳ දැමීමටත්, වෛරී ප්‍රකාශ පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට මග පෑදීමටත් හේතු වේ.

දෛනික සන්නිවේදනය තුළ වෛරය සාමාන්‍යකරණය වීම

වෛරී ප්‍රකාශ බොහෝ විට සමාජය තුළ ව්‍යුහගත වන්නේ "විහිළු," "සංස්කෘතික සිරිත්" හෝ "නිර්හිංසක කතාබහක්" ලෙස වෙස්වළා ගනිමිනි. මෙමගින් වෛරී ප්‍රකාශවල ඇති බරපතලකම අවම කර පෙන්වීමට උත්සාහ කෙරේ.

සාමාන්‍යකරණය සඳහා භාවිතා වන නිදහසට කරුණු


  • "අපි ඕවා වැඩිය සීරියස් ගන්න ඕනේ නැහැ" හෝ "මේක නිකන් විහිළුවක් විතරයි" යනුවෙන් සැහැල්ලුවට ගනිමින් තවකෙකුට කරන අපහාසය සාධාරණීකරණය කිරීම.
  • "මේවා අපේ සංස්කෘතියේ හැටි" හෝ "අපි ඉස්සර ඉඳලම කියන කතා" ලෙස පවසමින්, පවතින ද්වේෂසහගත ආකල්ප සමාජ සම්මතයන් ලෙස සංස්කෘතික ආවරණය තුළින් ස්ථාපිත කිරීම.

මෙවැනි ප්‍රතිචාර මගින් සිදුවන්නේ වෛරී ප්‍රකාශ සමාජයේ දෛනික භාෂා රටාවට බද්ධ වී, ඒවා වරදක් ලෙස නොපෙනෙන තත්ත්වයක් නිර්මාණය වීමයි.

වෛරී ප්‍රකාශවල ගැඹුරු සමාජ ප්‍රතිවිපාක

වෛරී ප්‍රකාශය සරල වචන කිහිපයකට සීමා වුවද, එහි අතුරුඵල දීර්ඝකාලීන සහ විනාශකාරී විය හැකිය.

  • විවිධ ජාතීන්, ආගම් හෝ කණ්ඩායම් අතර සැකය සහ වෛරය වර්ධනය වීම නිසා සමාජය කුඩා කැබලිවලට බෙදී යෑම නැත්නම් සමාජ ධ්‍රැවීකරණය සිදුවේ.
  • සුළුතර කණ්ඩායම් හෝ පීඩිත ප්‍රජාවන් අපහාසයට ලක්වීම නිසා, ඔවුන් පොදු සංවාද අවකාශයෙන් ඉවත් වීම හෝ තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට බිය වීම සිදු වේ.
  • ඉතිහාසය පිරික්සා බලන විට ඕනෑම මහා පරිමාණ සමාජ ගැටුමකට හෝ ජන සංහාරයකට පෙර, භාෂාව හරහා වෛරය ව්‍යාප්ත කිරීම සිදු වූ බව පැහැදිලි වේ. 
  • වෛරී ප්‍රකාශ බොහෝ විට පදනම් විරහිත කටකතා සහ දුස් තොරතුරු (Disinformation) සමඟ මුසු වී සමාජය නොමග යවයි.

දෛනික සන්නිවේදනයේ වගකීම

අපි සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය පුරවැසියන් වුවද, අප මුදා හරින සෑම වචනයක්ම සමස්ත සමාජ පරිසරයටම බලපෑමක් ඇති කරයි. සමාජය යනු අපගේ දෛනික ක්‍රියාවන්ගෙන් සහ සන්නිවේදනයෙන් නිරන්තරයෙන් හැඩගැසෙන ජීවමාන පද්ධතියකි. එබැවින්, අප භාවිතා කරන භාෂාව හුදෙක් සන්නිවේදනයක් පමණක් නොව, එය සමාජයේ "සම්මතයන්" (Social Norms) නිර්මාණය කරන ප්‍රබල මෙවලමකි.

වෛරී ප්‍රකාශවලින් වැළකීමට ප්‍රායෝගික උපදෙස්

ඩිජිටල් අවකාශය සැමටම ආරක්ෂිත, අන්තර්කරණය වූ සහ ගෞරවනීය තැනක් බවට පත් කිරීමට අපට කළ හැකි සරල පියවර කිහිපයක් පහත දැක්වේ.

  • පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ලිංගභේදය හෝ බාහිර පෙනුම ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනවා වෙනුවට, ඔවුන්ගේ අදහස හෝ ක්‍රියාව කෙරෙහි පමණක් ඔබේ විවේචනය සීමා කරන්න.
  • ඕනෑම දෙයක් 'Post' කිරීමට හෝ 'Comment' කිරීමට පෙර, "මෙම වචන නිසා යම් පුද්ගලයෙකු හෝ පිරිසක් හෑල්ලු වේද?" යන්න මදක් සිතා බලන්න.
  • "විහිළුවක් නැත්නම් උපහාසයක්" ලෙස පෙනෙන බොහෝ දේ තුළින් සමාජයේ පවතින ඒකාකෘතිකරණයන් (Stereotypes) තවදුරටත් ශක්තිමත් විය හැකිය. එමනිසා එවැනි වචන භාවිතයෙන් වළකින්න.
  • සමාජයක විවිධ අනන්‍යතාවයන් සහ මතවාදයන් පැවතීම ස්වාභාවිකය. එය පිළිගැනීම හරහා සහානියකින් තොර සංවාදයක් ගොඩනැගිය හැකිය.
  • ජාතික හෝ ආගමික පදනම් කරගත් අසත්‍ය ප්‍රචාර බොහෝ විට වෛරී ප්‍රකාශවලට මූලික වේ. එබැවින් තොරතුරක සත්‍යතාව තහවුරු කරගැනීමෙන් තොරව එය බෙදා නොහරින්න.
  • වෙනස් හෝ නව්‍යකරණය වූ අදහස් තිබීම වෛරයට හේතුවක් නොවිය යුතුය. තර්ක කරන්න, නමුත් එය ද්වේෂසහගත ප්‍රහාරයක් බවට පත් වීමට ඉඩ නොදෙන්න.

ඩිජිටල් පුරවැසියා: සරල පාරිභෝගිකයෙකුගෙන් ඔබ්බට

අද වන විට ඩිජිටල් යුගයේ පුරවැසියන් යනු හුදෙක් තොරතුරු පරිභෝජනය කරන්නන් පමණක් නොව, ඔවුන් අන්තර්ගතයන් නිර්මාණය කරන්නන් (Content Creators) ද වේ. මේ අනුව, සමාජ මාධ්‍ය භාවිතා කරන සෑම පුද්ගලයෙකුම පොදු සමාජ සංවාදයේ සක්‍රීය හවුල්කරුවෙකු වන අතර, ඔබ ලියන සෑම වචනයක්ම සහ බෙදාගන්නා සෑම අදහසක්ම අපේ සමාජයේ සංවාද සංස්කෘතිය හැඩගැස්වීමට සෘජුවම දායක වෙයි.

අනාගත සමාජය වඩාත් යහපත් සහ සහජීවනයෙන් පිරි අවකාශයක් බවට පත් කිරීමට නම්, අපගේ සන්නිවේදනය සංවේදී, ගෞරවාන්විත සහ විවෘත එකක් විය යුතුය. 'අන්තර්ඡේදනය' (Intersectionality) පිළිබඳ අවබෝධය අපට පසක් කර දෙන්නේ, පුද්ගලයෙකුගේ අත්දැකීම් යනු විවිධ සමාජ පසුබිම් සහ අනන්‍යතාවන්ගේ සංකීර්ණ මුසුවක් බවයි. එබැවින්, අපගේ වචන භාවිතයේදී එම සංකීර්ණත්වය සහ අනෙකාගේ අනන්‍යතාවය පිළිබඳව සංවේදී වීම අත්‍යවශ්‍ය වේ.

වෛරී ප්‍රකාශ යනු හුදෙක් වචන කිහිපයක ගැටලුවක් නොවේ. එය සමාජ බලය, සංස්කෘතිය සහ අනන්‍යතාවය අතර පවතින සංකීර්ණ සබඳතාවයේ ප්‍රතිඵලයකි. 'අන්තර්ඡේදනය' යන සංකල්පය මෙම සංකීර්ණත්වය වඩාත් ගැඹුරින් වටහා ගැනීමට අපට මඟ පෙන්වයි. අද සමාජ මාධ්‍ය යුගයේදී සෑම පුද්ගලයෙකුගේම හඬට සුවිශාල බලයක් ලැබී ඇති අතර, එම බලය සමාජය එක්සත් කිරීමට මෙන්ම එය බෙදා වෙන් කර දුරස් කිරීමටද එකසේ භාවිතා කළ හැකිය.



Join The Digital Safety Conversation

Explore more SAFEWebLK resources, follow upcoming events, and connect with the team to strengthen responsible online spaces in Sri Lanka.